Wednesday, July 16, 2008

රජය යුද්ධය ගැන වාර්තා කරන ආකාරය සිංහල හමුදාවටත් අවාසිදායකයි

ප්‍රවීන මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර මහතා සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කතෘවරයෙකි. දැනට ඔහු විදේශ වාර්තාකරුවෙකු ලෙස සේවය කරයි.

සාකච්ඡා කළේ - තාරා ශ්‍රී රාම්

අද සියලූ ලාංකිකයන්ගේ අයිතිවාසිකම් අර්බුදයකට ලක්වෙලා තියෙනවා. නමුත් සාමාන්‍ය මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝණයන්ට වඩා මාධ්‍යවේදීන්ට සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ වැඩිපුර කථාබහට ලක් වෙනවා කිව්වොත්...
මම ඒ මතයට එච්චර එකඟ නැහැ. අද ජනතාවගේ අයිතීන් ගැන ජනමාධ්‍ය කථා කරන්න පටන් අරන් තියෙන නිසයි මාධ්‍යවේදීන්ගේ අයිතීන් උල්ලංඝනයවීම ආරම්භ වෙලා තියෙන්නේ. මගේ පුද්ගලික අත්දැකීමත්, දැක්මත්, විග්‍රහයත් අනුව මම හිතන්නේ සමාජයේ බලවත් කොටස්වලින් වගේම ජනමාධ්‍ය මඟිනුත් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වෙනවා. අද ජනමාධ්‍ය කර්මාන්තයේ මූලික අයිතිකරුවන් වන ධනේශ්වර පන්තිය තේරුම් අරන් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න ගැන සමාජය ඇතුලේ කථා නොකළාම ජනතාව වෙනත් විදිහකින් හෝ ආයුධ සන්නද්ධව තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කරන බව. මේ වෙනකොට ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන කතා කරන මාධ්‍ය ක්ෂේත්‍රයේ තමයි වැඩිපුරම මාධ්‍යවේදීන්ගේ අයිතීන් උල්ලංඝනය වෙන්නේ.
ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය මෑතකාලයේ නිරන්තර තර්ජනයන්ට ලක් වුණා. ඒවාට විරුද්ධව ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ගත්තද මාධ්‍ය මර්දනයේ අඩුවීමක් දකින්න නැහැ.
මේ තත්වය මෑතක සිදුවුණා කියලා කියන්න අමාරුයි. මාධ්‍යවේදීන්ට එක්තරා විදිහකට හැමදාම තර්ජන තිබුණා. 1988-89 කාලයේ ඉඳලා මං දන්න තරමින් කලාපීය ජනමාධ්‍යවේදීනුත් ඇතුලූව ජනමාධ්‍යවේදීන් 30 ගණනක් ඝාතනය වෙලා තියෙනවා. ලංකාවේ වැඩිම ඝාතන ප්‍රමාණයක් සිද්ධවෙලා තියෙන්නේ දකුණේ. ඉන් බහුතරයක් සිංහල මාධ්‍යවේදීන්. නැවතත් 1994-95 කාලයේ එම තත්වය මඳක් අඩු වුණා. හිරිහැර කිරීම් සුළු මට්ටමෙන් වුණා. ඝාතනයවීම් නැතිවෙලාම ගියා. නමුත් දැන් නැවතත් මර්දනය උග්‍ර වෙමින් තිබෙන බවයි මගේ අදහස.
ඉස්සර මාධ්‍යවේදීන් දඩයම් කිරීම සිදු වුණේ රහසිගතව. නමුත් මෑත කාලයේ ප්‍රසිද්ධියේම මාධ්‍යවේදීන්ට පහරදීම් සිදු කරලා, මරණීය තර්ජන කරලා රජයේ ඇතැම් පුද්ගලයින් තමන්ගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්නවා කිව්වොත්...
ඔව්. විවිධ පුද්ගලයින් ජනමාධ්‍ය පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ක්‍රිකට් ක්‍රීඩකයින් ජනමාධ්‍ය පාවිච්චි කරනවා. ඒගොල්ලන්ව ජනමාධ්‍ය විසින්ම නග්ගලා තියෙනවා. ඒක අද ජනමාධ්‍ය කර්මාන්තයේ ලක්ෂණයක්.
ඒ ලක්ෂණය හොඳද, නරකද?
ඒකෙ හොඳ පැතිත් තියෙනවා. නරක පැතිත් තියෙනවා. අපි දන්නවා ආබාධිත පුද්ගලයින්ට ආධාර අවශ්‍ය වෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ ඡායාරූප අරගෙන පත්තරවල දාන තරටම ආධාර ලබා ගන්න පුළුවන්. මේ කර්මාන්තයේ ඇති වැදගත්ම ප්‍රයෝජනයක් ඒක. ඒ වගේම සමහර පුද්ගලයින් ඉන්න පුළුවන් තමන්ගේ ප්‍රචණ්ඩ ස්වභාවයන් ප්‍රකාශ කරන්න ජනමාධ්‍ය පාවිච්චි කරන. රජය, දේශපාලඥයන් හා හමුදාවන් මේ විදිහට ජනමාධ්‍ය පාවිච්චි කරනවා.
ඔවුන්ගේ ප්‍රචණ්ඩ ස්වභාවයන් ප්‍රකාශ කිරීමට මාධ්‍ය මඟිනුත් යම් රුකුලක් ලැබෙනවාද?
ඔව්. එහෙම වෙනවා.

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වැඩිපුරම තොරතුරු රැස් කරන්නේත්, විදේශයන් දැනුවත් කෙරෙන්නේත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ලාංකිකයන්ගේ හිම්කමි කඩවීම් ලෝක ප්‍රජාවට ගෙන යා හැක්කේ ඉංග්‍රීසි මාධයෙන් පමණක්ද?
ඒක වැරදියි. මං දන්න තරමින් ලාංකිකයන්ගේ හිමිකමි කඩවීම් ලෝක ප්‍රජාව වෙත වැඩියෙන්ම ප්‍රචාරය වෙන්නේ පිටරටවල ඉන්න දෙමළ ජාතිකයින් හා ලංකාවේ දෙමළ ජාතිකයින් මඟින්. එය සිදුවෙන්නේ දෙමළ මාධ්‍යයෙන්. විදේශයන්හි රැඳී සිටින සිංහල සහ ද්‍රවිඩ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රචාරය වුනා මේ ප්‍රශ්නය ගැන. විවිධ ආකාරයෙන් ලංකාවෙන් විදේශයන්ට ලංකාවේ ප්‍රශ්ණ ගැන ප්‍රකාශනයන් වෙනවා. 1971 දී වුනත් ඉංග්‍රීසි ජනමාධ්‍ය මඟින් එකල තිබූ තත්වය ගැන, අරගල කරන ජනතාවගේ පීඩනය ගැන ප්‍රකාශනයක් වුනේ නැහැ. මං දන්න තරමින් ඉංග්‍රීසි මාධ්‍ය තමයි ජනතාවගේ අයිතීන් වැඩියෙන්ම උල්ලංඝනය කරලා තියෙන්නේ. ඔවුන් සාමාන්‍ය ගොවි, කම්කරු ජනතාවගේ වුවමනාවන් කතා වෙන්නේම නැහැ. ඒ නිසා මම ඉංග්‍රීසි මාධ්‍යට මූලිකත්වය දෙන්න කැමති නැහැ. අද වුනත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විඳින පීඩනය ගැන විදේශයට වැඩිපුරම තොරතුරු යැවෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය හරහා හෝ ජාත්‍යන්තර මාධ්‍ය හරහා නෙවෙයි. පිටරට ක්‍රියාකාරී වෙන දෙමළ ක්‍රියාකාරීන්ගේ උනන්දුවෙන්. මම එය පුද්ගලිකව හොඳින්ම දන්න කරුණක්.
සිංහල මාධ්‍ය ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ පිළිබඳ දක්වන උනන්දුව ගැන ඔබේ මතය මොකක්ද?
අද සිංහල මාධ්‍ය මඟින් ගොවි, කම්කරු ජනතාවගේ ප්‍රශ්ණ ගැන පොඞ්ඩක් හරි තොරතුරු ප්‍රකාශනයක් කෙරෙනවා. නමුත් සුළු ජාතීන්ගේ ප්‍රශ්ණ ගැන නම් කතා කරන්නේම නැහැ. මං හිතන්නේ දෙමළ, මුස්ලිම්, ලන්සි සියළු දෙනාම ජාතික මට්ටමින්, සංස්කෘතික මට්ටමින් අද උග්‍ර පීඩනයක් විඳිනවා. අද තියෙන්නේ සිංහල බෞද්ධ අන්තවාදී රාජ්‍යයක්.
ඔබ හිතන විදිහට ඇයි මාධ්‍ය තම වගකීම පැහැර හරින්නේ ?
මාධ්‍ය කළමණාකරුවෙකු ලෙස මම පැහැදිලිවම කියන්න කැමතියි කර්මාන්තයක් හැටියට මාධ්‍ය රැඳෙන්නේ වෙළෙඳ පොළේ වුවමනාවන් මත. ඒක ඉෂ්ඨ කිරීම යුතුකමක් වෙනවා. මම බොහොම කැමැත්තෙන් ඒක ඉෂ්ට කරලත් තියෙනවා. ඒක තමයි මගේ වෘත්තිමය මුලික අරමුණ. මේ ධනේශ්වර ක්‍රමය යටතේ මට මුලිකත්වය දෙන්න වෙලා තියෙන්නේ සමාජයේ වුවමනාවන් අනුව මගේ මාධ්‍ය භාණ්ඩය විකුණගන්න. එහෙම නොකලොත් මගේ රැකියාව නැතිවෙනවා. පත්තරේ විකුණගන්න බැරි වෙනවා. රේඩියෝ වැඩසටහන් විකුණන්න බැරිවෙනවා. මේක ධනේෂ්වර මාධ්‍යයේ දුර්විපාකයක්. අද දකුණේ මාධ්‍යවල සුළු ජනතාවගේ වුවමනාවන් ගැන කතා කෙරෙනවා අඩුයි. දෙමළ ජනතාවගේ වුවමනාවන් ඉටු කරන්න සිංහල මාධ්‍ය කැමති නැහැ. හේතුව මිනිස්සු කැමති තමන්ගේ අපේක්ෂාවන් පමණක් ඉදිරිපත් කරන මාධ්‍ය වලට. ඒක එක අතකින් සිංහල ජනතාවගේ මෝඩකම, අශිෂ්ටභාවය වෙන්න පුළුවන්. අනෙක් අතට කියන්න පුළුවන් මාධ්‍යෙවිදීන්ගේත් මෝඩකම කියලා.
මාධ්‍ය වෘත්තිය තවදුරටත් ස්වාධීන නැහැ නේද?
හාම්පුතාගේ අවශ්‍යතාවයන්, ඒ ගොල්ලන්ගේ වෙළෙඳපල ප්‍රතිපත්ති, දේශපාලන වුවමනාවන් අනුව වැඩ කරන්න මාධ්‍යවේදීන්ට සිදුවෙනවා. එතනදී මමත් ස්වාධීන කෙනෙක් නෙවෙයි.
ලංකාවේ නිවැරදි මාධ්‍ය භාවිතයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?
යම්කිසි මට්ටමකින් තියෙනවා. හැම සමාජයකම මාධ්‍ය ව්‍යුහයන් තුළ අඩුපාඩුකම් තියෙනවා. ඉන්දියාව ගත්තොත් ඉහළ මට්ටමේ ජනමාධ්‍ය භාවිතාවක් තියෙන රටක්. නමුත් ලංකාවෙත් සමහර මාධ්‍ය ක්ෂේත්‍රයන් ඉතාමත් ප්‍රගතිශීලි හා ශිෂ්ට ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා මම හිතනවා. උදාහරණයක් ගත්තොත් යුක්තිය පත්තරය බොහොම ලස්සනට ලංකාවේ ජනගහණයෙන් වැඩිම පිරිස වන ගොවි කම්කරු ජනතාවගේ ප්‍රශ්න හා සුළු ජනතාවගේ ප්‍රශ්න කතා කළා. ඔවුන් දිවයින වගේ පත්තර සමග තරඟ කළා.
යුද්ධය පවතින අනෙක් රටවල මාධ්‍ය භාවිතයට සාපේක්ෂව අපේ රටේ මාධ්‍ය භාවිතය ඔබ කොහොමද දකින්නේ ?
අද අභියෝගයන් රැසක් මැදයි මාධ්‍යවේදීන් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර යුද්ධය සිංහල හමුදාවේ යුද්ධයක්. මට නම් ඔවුන්ට රාජ්‍ය හමුදාව කියලා කියන්න බැහැ. ඇත්තෙන්ම සොල්දාදුවන් කානුවල වැටිලා ගෙවන ජිවිතය ගැන කතා කරනවා මදි. දෙවන ලෝක යුද්ධයේදී, වියට්නාම් යුද්ධයේදී ජනමාධ්‍යවේදීන් කඳවුරුවල හැංගිලා යුද්ධ කරන සොල්දාදුවන්ගේ අත්දැකීම් ගැන ලිවුවා. මෙහිදී සිංහල සොල්දාදුවන් ගැන විතරක් නෙවෙයි දෙමළ සොල්දාදුවන් ගැනත් කතා කිරීම වැදගත්.
යුද්ධයක් පවතින රටක මාධ්‍ය කටයුතු කරන්න ඕන කොහොමද?
ඒක ඉතාමත්ම අමාරු ප්‍රශ්ණයක්. මොකද අපි දන්නවා සමාජයක් තුළ යුද්ධයක් පවතිනකොට ඒ සමාජය ඉන්නේ කොටස් කීපයකට බෙදිලා. ඒ නිසා වාර්තාකරුවොත් බෙදිලා. එතකොට පොදු ව්‍යුහයක් තුළ ක්‍රියාකාරී වෙන්න ඔවුන්ට බැහැ. ලංකාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් තුනම මුද්‍රණය කරන පුද්ගලික කොම්පැණි නැහැ. ඒකෙන්ම තේරෙනවා බෙදීම.
අද යුධ බිමේ සිදුවීම් වාර්තා කිරීමට මාධ්‍යවේදීන් අවශ්‍ය නැහැ. මාධ්‍ය මඟින් බෙදා හරින්නේ රජය නිකුත් කරන යුධ පුවත්.
අද ආරක්ෂක තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් විශාල කලකිරීමකින් සහ හීනමානයකින් ඉන්නේ. රටේ අනෙක් ප්‍රශ්ණ ගැන වාර්තා කරන මාධ්‍යවේදීන්ගේ තත්වයත් එයමයි. දකුණේ සමාජ, ආර්ථික ප්‍රශ්ණ වාර්තා කලොත් දකුණේදී මාධ්‍යවේදියෙක් රාජ්‍ය විරෝධී වෙනවා. උතුරේ තොරතුරු වාර්තා කලොත් උතුරේදී මාධ්‍යවේදියෙක් කොටි විරෝධී වෙනවා. මාධ්‍යවේදීන් අතරත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඇතැම් විට ඔවුන්ගේ කැමැත්ත අනුවත් වාර්තා නොකර ඉන්න පුළුවන්. මම නම් කියන්නේ රජය යුද්ධය ගැන වාර්තා කරන ආකාරය සිංහල හමුදාවටත් අවාසිදායකයි.
ලංකාවේ යුධ පුවත් විශ්ලේෂකයන් ඉන්නවාද ?
ඉන්නවා. ලංකාවේ හිටපු දක්ෂම සහ හොඳම කෙනා ධර්මරත්නම් සිවරාම්. එයාවත් අවාසනාවකට ඝාතනය කලා. ලංකාවේ දෙමළෙන්, සිංහලෙන්, ඉංග්‍රීසියෙන් විග්‍රහ කරන මාධ්‍යෙවිදීන් හතර පස් දෙනෙක්වත් ඉන්නවා කියලා මම හිතනවා. ඒ වගේම බල කඳවුරුවල වුවමනා අනුව ක්‍රියාකරන මාධ්‍යවේදීනුත් ඉන්නවා. ඒක ඒගොල්ලන්ගේ පැවැත්මේ තීරණයක්.
ලෝකයේ අනෙක් රටවල මිනිස්සු මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව නැගී සිටීමේදී තම රටවල ජනමාධ්‍ය ගැන විශ්වාසයක් තබනවාද?
ඔව්. අද බලවත්ම සමාජ සන්නිවේදන ව්‍යුහය ජනමාධ්‍ය. කැමැත්ත හෝ අකමැත්ත එතන නැහැ. ගොවියෙක්ට තමාගේ පීඩනය ප්‍රකාශ කරන්න ජනමාධ්‍යයේ අවධානය ගන්න වතුර ටැංකි උඩට නැඟලා කියන්නම වෙනවා. එතකොට තමයි ජනමාධ්‍ය එතනට එන්නේ.
ලංකාවේ මිනිස්සු මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව නැගී සිටීමේදී ජනමාධ්‍ය විශ්වාස කරනවා කියා ඔබ හිතනවාද?
විශ්වාසයකුත් තියෙනවා. අවිශ්වාසයකුත් තියෙනවා.
අද ඇතැම් මාධ්‍යවේදීන්ට ඇති ජීවිත තර්ජන නිසා බොහෝ විට ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා කිරීමට පෙර දෙවරක් සිතන තත්වයට මාධ්‍යවේදීන් පත් වෙලා. එවැනි වාතාවරණයක් උඩ ඔවුන් ලංකාවේ මානව හිමිකම් ගැටලූ වාර්ථා කරන්නේ කොහොමද?
යමෙක් එහෙම දෙයක් කරනවා නම් ඒක බොහොම නිර්භීතව, ලොකු ආත්ම ශක්තියක් මත තමයි කරන්නේ. ඒකට මම ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ගරු කරනවා. පහරකාලත් සමහර අය වාර්ථා කරනවා. ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්න පටන් ගත්තාම ඒවා උල්ලංඝනය කරන අය අදාළ තොරතුරු ප්‍රකාශ කරනවාට කැමති නැහැ.
මිනිස්සුන්ට මාධ්‍ය කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන් පසුබිමක් මාධ්‍ය හදලා තියෙනවාද?
ඒක මාධ්‍යට පමණක් කල නොහැකියි. මාධ්‍යයේ හරය කියන්නේ ජනතාවගේ සන්නිවේදනයේ හරය. ජනමාධ්‍යය තනිව හරයක් ගොඩනඟන්නේ නැහැ. මාධ්‍යයේ හරය ජනතාව තුළින් එන්නේ. ඒ නිසා ජනතාවට මාධ්‍යය නැතුව බැහැ. මාධ්‍යයට ජනතාව නැතුව බැහැ.

සමහර ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තොරතුරු සන්නිවේදනයේදී ස්වයංවාරණයක් පනවාගෙන සිටිනවා.
ඒක හැමදාම වෙනවා. මාධ්‍යවේදීන් වෙළඳපළේත්, පාඨකයන් අතරේත්, එහෙම නැත්නම් හාම්පුතාලගේත් බලපෑම් මතත් ස්වයංවාරණයක් පනවාගෙන සිටිනවා. ඒක මාධ්‍ය නිදහසට බොහොම දරුණුවට බලපානවා.
මේ තත්ත්වය අද වැඩිවෙන්න හේතුව මොකක්ද?
අද රටේ ප්‍රචණ්ඩත්වය වැඩිවෙලා. විශේෂයෙන්ම මේ රටේ රාජ්‍යය නායකයෝ දශකයන් ගණනාවක් තිස්සේ ඔවුන්ගේ හමුදාවන් යොදවලා සිංහල, දෙමළ ලක්ෂ ගණනක් ඝාතනය කළා. එවැනි ප්‍රචණ්ඩත්වයක් තියෙන විට මාධ්‍යවේදීන් පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාවත් ස්වයංවාරණයක් පනවා ගන්නවා.

No comments: